අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරිම හාපරිගණක ලිංගික අපරාධ
1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වලා තියෙනවා. මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවනි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක්.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.
එතකොට ඔබට පැහැදිලියි, කවුරුන්හෝ කෙනෙක් ඔබේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තියෙන අතිශය පෞද්ගලික වීඩියෝ/ඡායාරූප (බොහෝ විට නිරුවත් ඡායාරූප) අන්තර්ජාලයට නිකුත් කරනවා කියන්නේ ඒ පුද්ගලයා සිදු කරන්නේ රටේ නීතිය කඩකිරීමක්. ඔබේ අනු දැනුමක් යටතේ එය සිදු වුනානම්, ඔබත් වරදකරුවෙක්. එවැනි පුද්ගලයින්ව නීතිය ඉඳිරියට ගෙනැවිත් දඬුවම් පැමිණවීම සිදු කළයුතු දෙයක්.
අන්තර්ජාල ප්‍රකාශනයන් වලට අදාල ලාංකීය අන්තර්ජාල නීතිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ හා සම්බන්ධ මූලික පනත් හතරක් පිළිබඳ හඳුනාගත හැකිය.
1- 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත (මෙම පරිගණක අපරාධ පනත මඟින් මූලික වශයෙන් පරිගණක සම්බන්ධ අපරාධ හා පරිගණකයක් තුළට අනවසරයෙන් ඇතුල්වීම හෝ එහි අන්තර්ගත තොරතුරු ලබා ගැනීම අපරාධයක් සේ සලකනවා.)
2 – 2006 අංක 16 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත (මෙහිදී අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම විශේෂයෙන් පරිගණක සේවා සපයන පුද්ගලයන් අදාල සේවාව ළමා ලිංගික අපයෝජනයන්ට සම්බන්ධ අපරාධ සිදු නොවන ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බව දක්වනවා.)
3 – 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත.
4 – 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත (2008 අංක 33 පනතින් සංශෝධිත)
අසභ්‍ය ප්‍රකාශන අන්තර්ජාලය තුළ බෙදාහැරීමේ වරදට ලැබෙන දඬුවම් මොනවාද?
1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි. ඒ වගේම එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකියි. එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතුයි. එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා. ඒ වගේම එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකියි. තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වෙනවා. මෙය රුපියල් මිලියන කීපයක වන්දියක් උනත් වෙන්න පුළුවන්.
මූලිකම දේ විදියට ඔබට ළඟම ඇතී පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් ගොනු කරන්න. දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා කාර්යංශයක් තිබෙනවා. බොහෝ වෙලාවට ඒ අංශයේ සේවය කරන්නේ කාන්තා පොලිස් නිලධාරීනියන්. ඔවුන් සාවධානව ඔබේ පැමිණිල්ල සටහන් කරගනීවි. ඒ වගේම ඔබ සතු සියළුම සාක්ෂිවල පිටපත් පොලීසියට ලබාදෙන්න අමතක කරන්න එපා. +94 112 854 931, +94 112 854 893 අංකවලින් හෝ 1929 යන හදිසි ඇමතුම් අංශයෙන් ඔබට මේ පිළිබඳව තොරතුරු දැනගත හැකියි.
ඊළඟ දේ නීතීඥ සහය ලබාගන්න එක. ඔබට වඩාත් විශ්වාසනීය සහ මේ ගැටළුව වඩාත් හොඳින්ම අවබෝධකරගන්නා නීතිඥවරයෙකුගේ සේවය ලබාගන්න හැකිතාක් උත්සාහ කරන්න.
No comments:
Post a Comment